කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනයේ පොලිස් පරීක්ෂණ සිදු කළ ආකාරය ගැන දැන් රටම දනී. අහිංසකයන් දඬු කඳේ ගසමින් කළ එම විමර්ශන ගැන ආණ්ඩුව කිසි දෙයක් කතා කරන්නේ නැත. පොලිසිය යනු රජයේ එක් ඉන්ද්‍රියක් ලෙස අමල් සුදත් සිල්වා එදිරි පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු නඩුවේ දී අධිකරණය කියා තිබේ. යම් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවේ සිටිය දී හෝ සන්නද්ධ සේවාවන්හි අත්අඩංගුවේ සිටිය දී මරණයට පත්වීම හෝ වධ බන්ධනයන්ට ලක් වීම රාජ්‍යයේ වගකීමක් ලෙස සාමාන්‍යයෙන් පිළි ගනී.
පොලිසියෙන් වූ වරද නිවැරදි කිරීම සහ වැරදි කළවුන්ට දඬුවම් දීම ආණ්ඩුවේ ද වගකීමකි. රාජ්‍ය ආයතනවලට ඕනෑ ආකාරයට ක්‍රියාමක වීමට ඉඩ දුනහොත් නීතිය කැලෑ වැදිනු ඇත. ඇමෙරිකා නීති විශාරදයකු වන ලොන් ෆුලර්ට අනුව නීතියේ ආධිපත්‍ය සම්පූර්ණ වීමට නම් නීතියට රාජ්‍ය නිලධාරීන් ද අවනත විය යුතුය. එමෙන්ම නිලධාරීන්ගේ ක්‍රියා හැම විටම පවතින හා ප්‍රකාශිත නීතියට අනුකූල විය යුතුය.
(ෆේස්බුක් ඡායාරූපයකි)
කොටදෙනියාවේ සිදුවීමේ දී පොලිසියේ හෙළුව කියාපාමින් පොලිසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් පමණක් නොව පවත්නා නීති රීති රැසක් කඩ කළේය.
කොටදෙනියාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) වගන්තිය අනුව නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට හැර කිසිම තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට නොහැකිය.
‘‘13 (1) නීතියෙන් නියම කරනු ලබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.‘‘
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන්නේ ‘නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලුව මිස‘ කිසිම තැනැත්තකු අත්අඩංගුවට නොගත යුතු බවයි. නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය කුමක්දැයි ඕනෑම කෙනකුට මතුවිය හැකි ඊළඟ ප්‍රශ්නයයි.
නීතයෙන් නියම කර ඇති ආකාරය සඳහන් වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේය.  යම් පුද්ගලයකු සිර භාරයට ගත යුතු ආකාරය එහි IV පරිච්ඡේචයේ 23 (1) වගන්තියේ දක්වා ඇත.
‘’23 (1) යම් තැනැත්තකු සිර භාරයට ගැනීමේ දී ඒ සිර භාරයට ගනු ලබන තැනැත්තා තමා අත්අඩංගුවට ගනු ලැබීමට වචනයෙන් හෝ ක්‍රියාවෙන් අවනත වුවහොත් මිස, ඔහු සිර භාරයට ගැනීම කරන තැනැත්තා විසින් සිර භාරයට ගනු ලබන තැනැත්තාගේ ශරීරය සැබැවින් ම ස්පර්ශකොට හෝ රඳවා තබා ඔහුව සිර භාරයට ගත යුතුය. තව ද සිර භාරයට ගනු ලබන තැනැත්තා සිර භාරයට ගනු ලබන්නේ යම් චෝදනාවක් හෝ දෝෂාරෝපණයක් මත ද ඒ චෝදනාවේ හෝ දෝෂාරෝපනයේ ස්වභාවය ඔහුට දැනුම් දිය යුතුය.‘
‘යම් තැනැත්තකු විධිමත් ලෙස සිර භාරයට නොගෙන ඒ තැනැත්තා රඳවා හෝ ගමන් වළක්වා තබා ගැනීම හෝ සියලු අරමුණු හෝ කාර්ය සඳහා ඒ තැනැත්තා අත්අඩංගුවෙහි සිටින විට සිර භාරයට ගැනීමක් කර නැති බව ව්‍යාජ ලෙස දැක්වීම හෝ ඒ තැනැත්තා සිර භාරයට ගැනීමක් ලෙස සැලකිය යුතුය.‘‘
ඉහත වගන්තිය අනුව සැකකරුවක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඊට එරෙහිව කිසිවක් නොකරයි නම් ඔහු සාමකාමීව සිටිනවා නම් එම සැකකරු අත්අංගුවට ගත යුත්තේ චෝදනා කියා දී ය. එනම් අහවල් චෝදනාවට ඔබ අත්අඩංගුවට ගන්නවා කියමින් සැකකරුගේ ශරීරය ස්පර්ශ කරමිනි.
කොටදෙනියාවේ පාසල් සිසුවා හා එක්දරු පියා අත්අඩංගුවට ගනිද්දී පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනාවකට දැයි කියා නැත. ගෙදරට පැමිණ ප්‍රකාශයක් අරගෙන එවනවා යැයි කියා ගෙන ගොස් තිබේ. තමන් අත්අඩංගුවට ගන්නේ සේයා දැරිය ඝාතනයට සැකපිට යැයි ඔවුන් දැන ගන්නේ අත්අඩංගුවට ගත්තායින් පසුය.
එසේම කෙනකු අත්අඩංගුවට ගැනීමේ ක්‍රම දෙකකි. එකක් වරෙන්තුවක් ඇතුව අත්අඩංගුවට ගැනීමයි. අනෙක නම් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමයි.
වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32 (1) වගන්තියේ දක්වා ඇත. එහි (ආ) වගන්තිය මෙසේය.
‘’32 (1) (ආ) යම් සංඥය වරදකට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරක් ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතී ද එවැනි යම් තැනැත්තකු‘ , මහේස්ත්‍රාත්වරයකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව යම් සාම නිලධාරියකු විසින් සිර භාරයට ගත හැකිය. ‘‘
සාම නිලධාරියා යනු පොලිස් නිලධාරියා ය. එම වගන්තිය අනුව කෙනකු ගැන සැකයක් ඇති වූ පමණින් හෝ පැමිණිල්ලක් ලද පමනින් අත්අඩංගුවට ගත නොහැකිය. පැමිණිල්ල සාරණ විය යුතුය. සැකය ද සාධාරණ විය යුතුය. සාධාරණ සැකය යනු හේතු පැහැදිලි කළ හැකි සැකයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල සඳහන් වේ.
කොටදෙනියාවේ එක්දරු පියා අත්අඩංගුවට ගැනීමට සාධාරණ සැකය ලෙස පොලිසිය සඳහන් කරනුයේ සේයාගේ අවමගුල යන අතරතුර එම එක්දරු පියා ගමේ සැලුන් එකෙන් ණයට කොණ්ඩය කැපීම බවයි.
ඇත්තටම එය සාධාරණ සැකයක්ද? එම එක්දරු පියා, සේයාගේ මිනිය සොයන තැන සිට අවමගුල අවසන් වන තෙක් සෑහෙන වෙහෙසක් මහන්සියක් දරා අවමගුලේ වැඩ වලට දායක විය. ඔහු කොණ්ඩය හා රැවුල කැපුවේ මේ අතර තුරය. එක්දරු පියාගේ නිවස පිහිටියේ සේයාගේ නිවස අසලම ය. ඔහු නිතරම මළගෙදර වැඩ වලක දායක වූ බව මීට පෙර ද සඳහන් කළෙමු. අවමගුලට කොණ්ඩය, රැවුල නොකපා වැද්දකු (වැද්දන්ට කරන අපහාසයක් නොවේ) ලෙස සහභාගී විය නොහැකි නිසා කොණ්ඩය හා රැවුල කපන්නට ඇත්දැයි සිතිය හැකි මොළයක් කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිට නොතිබුනේය. එක්දරු පියා ණයට කොණ්ඩය කැපූ පළමු අවස්ථාව ද එය නොවීය. මෙවැනි දේ ගැන නොසයා ඔහු ගැන සාධාරණ සැකයක් ඇති විය නොහැකිය.
පොලිසිය එක්දරු පියා අත්අඩංගුවට ගැනීමට සාධාරණ සැකය ලෙස දක්වන කරුණ සැබැවින්ම සාධාරණ සැකයක් නොවේ. එය හේතු සහිත සැකයක් නොවේ.
ඊළඟට පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමට සාධාරණ සැකය ලෙස පොලිසිය කියන කාරණ පහකි. පළමු වැන්න නම්  සිසුවා පාසලෙන් අස්කළ හා හොඳ නැති ළමයකු ලෙස පාසල් ගුරුවරිය ප්‍රකාශයක් දුන් බවය. දෙවැන්න නම් ළමයා හදා ගන්නට බැරි ළමයකු ලෙස අම්මා ප්‍රකාශයක් තුන් බවය. තුන් වැන්න නම් ළමයාගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබූ බවය. හතර වැන්න ළමයා සේයාගේ පියාගෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය හැදෑරුවකු බවය. අවසන් කාරණය නම් සිසුවාගේ ෆේස්බුක් පිටුවේ සේයාගේ ඡායාරූපයක් තිබුණායැයි කීමය.
ගුරුවරියක දරුවකු දෙලෙ  බලන්නේ අධ්‍යාපනය පැත්තෙන්ය. ළමයා දිනපතා පාසල් නොපැමිණෙන හා හොද නැති ළමයකු ලෙස කී පමණින් ඔහු මිනීමැරුමකට අත්අඩංගුවට ගැනීමේ කිසිදු පදනමක් නැත. අනිත් කාරණය ගුරුවරියට එසේ කී බව පොලිසිය ප්‍රකාශ කළ ද එය සහමුලින්ම මූසාවක් බවත්, එවැනි ප්‍රකාශයක් තමා පොලිසියට කර නැති බවත් කියමින් එම ගුරුවරිය දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.
පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමට ගුරුවරියගේ ප්‍රකාශය හේතුවූ බව කියමින් කොටදෙනිව පොලිසිය සපයන හොදම විහිළු ඇත්තේ ඉන් පසුය. එම ගුරුවරියගෙන් පොලිසිය ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ සැප්තැම්බර 21 වැනි දා ය. ඒ වන විට පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන දින හයක් වන අතර ඔහු රිමාන්ඩ් කර දින දෙකකි. එසේ නම් ගුරුවරියගේ ප්‍රකාශයක් තම දරුවා අත්අඩංගුවට ගත්තායැයි පොලිසිය කියනුයේ සිහි විකල්ලෙන්දැයි ප්‍රශ්නයකි.
අත්අඩංගුවට ගැනීමට ඊළඟ හේතුව ලෙස කියනුයේ මවගේ ප්‍රකාශයයි.  පොලිසිය මවගෙන් ප්‍රකාශ ගන්නේ පාසල් සිසුවා අත්අඩංගුවට ගන්නා මොහොතේ දීමය. තම දරුවා හදා ගැනීමට නොහැකි අයකු ලෙස තමා කිසි විටකත් පොලිසියට නොකී බව මව දිවුරුම් පෙත්සමකින් කියන්නීය. ඒ අනුව පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් ලෙස කියන දෙවැනි කාරණය ද බිඳ වැටෙයි.
තුන් වැනියට පොලිසිය කියන්නේ සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබුණායැයි කීමය. ‘ගූගල්‘ මගින් ‘සෙක්ස්‘ යන වචනය ටයිප් කර සොයා බැලූ වැඩිම රටවල් අතරින් පිට පිට වසර දෙකක් මුල් තැනට ආවේ ශ්‍රී ලංකාවය. එසේ නම් ලංකාවේ පරිගණක කොපමණ ක අසභ්‍ය දර්ශන ඇත්ද? පරිගණකයක අසභ්‍ය දර්ශන තිබීම ස්ත්‍රීදුෂණයක හෝ මිනී මැරුමට සැකරුවකු වීමට හේතුවක් නම් සේයා ඝාතනයෙන් පසු කොටදෙනියාව ගමේ සියලු දෙනාගේ පරිගණක පොලිසිය බැලිය යුතුය. ලංකාවේ කී දාහක් එසේ නම් සේයා ඝාතනයට අත්අඩංගුවට ගත යුතුද?
හොඳම විහිළුව එය නොවේ. පාසල් සිසුවාගේ පරිගණකයේ අසභ්‍ය දර්ශන ඇතැයි අනාවරණය වනුයේ ඔහු අත්අඩංගුවට ගත්තායින් පසු වීමය. ඔහු හා ඔහුගේ පරිගණය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස් සේයා ඝාතනයට සිසුවා සම්බන්ධ බව කියමින් ඔහුට පහර දෙන්නට වී ඇත. එසේ පැය ගණනක් පහර දී ඉන් පසු ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කරද්දි අසභ්‍ය දර්ශන තිබී ඇත. එනම් ඒවා හමු වි ඇත්තේ අත්අඩංගුවට ගැනිමෙන් පසුය. එහි ළමා අපයෝජන සහිත දර්ශන තිබී නැත.
පොලිසිය ඊළගට කියනුවේ පාසල් සිසුවා සේයාගේ පියාගෙන් අධ්‍යාපනය ලබා ඇති නිසා ඔහු මේ අපරාධය කළ බවට සැකයක් ඇති වූ බවයි. සේයාගේ පියා සහ පාසල් සිසුවා කියන අන්දමට ඔහු සේයාගේ පියාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ගෝ ඇත්තේ ඔහු නවය ශ්‍රේණියේ සිටිය දී ය. පන්ති ගොස් ඇත්තේ මාසයක් පමණය. එනම් මීට අවුරුදු හතරකට පෙරය. ඒ වන විට සේයාට අවුරුද්දක්වත් නැත.   ඉන් පසු එක් දිනක් හෝ සිසුවා එහි නොගිය බව සේයාගේ පියා ද පිළිගනී. සේයාගේ පියා ගුරුවරයකු ලෙස ඕනෑ තරම් සිසුන්ට උගන්වා ඇත. එසේ නම් ඒ සියලු දෙනා මේ ඝාතනයට සැක කරනවාදැයි පොලිසිය පිළිතුරු දිය යුතුය.
අවසන් වශයෙන් පොලිසිය කියනුයේ පාසල් සිසුවා සිය ෆේස්බුක් පිටුවේ සේයා දැරියගේ ඡායාරූපයක් පළ කළ නිසා ඔහු ගැන සැක සිතුණු බවයි. පොලිසිය තාක්ෂණ දැනුමෙන් මොන තරම් පසුගාමීදැයි එයින්ම වැටහෙනු ඇත. පාසල් සිසුවා සේයාගේ ඡායාරූප කිසිවක් ෆේස්බුක්හි පළ කර නැත. ඔහු කර ඇත්තේ වෙනත් කෙනකු විසින් සේයා ඝාතනය වීම ගැන ශෝක වෙමින් පළ කළ දැන්වීම් දෙකක් ෂෙයාර් කිරීමය. ඒ දිනවල ෆේස්බුක් භාවිත කළ බොහෝ දෙනෙක් එවැනි දෑ ෂෙයාර් කළහ. කොටින්ම කියතොත් නියෝජ්‍ය ඇමැතිවරයකුද එවැනි දෑ ෂෙයා කර තිබෙනු දක්නට ලැබිණි. එසේ නම් එසේ ෂෙයාර් කළ දහස් ගණනක් දෙනා මේ ඝාතනයට සැක කරනවා දැයි පොලිසිය පිළිතුරු බැඳිය යුතුය.  (පාසල් සිසුවා ෂෙයාර් කළ පින්තූර දෙක)
 පාසල් සිසුවා කුඩු ගසන බව හා ගංජා ගසන බව ද පොලිසිය කීවේය. ඔහු කුඩු ගසන බවට හා ගංජා ගසන බව කීමට පොලිසිය ඉදිරිපත් කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකුගේ වාර්තාවකි. පාසල් සිසුවා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කළේ සැප්තැම්බර 21 වැනි දා ය. එනම් ඔහු අත්අඩංගුවට ගෙන දින හයකට පසුය. ඔහු රිමාන්ඩ් කර දින තුනකට පසුය. (ජේඑම්ඕ එවැනි දෑ දමා ඇති නිසා එය ගැටළු සහගත බවත්, ඒ ගැන නීතිඥනූකූලව කටයුතු කරන බවත් සිසුවාගේ නීතිඥවරු කියති.) අත්අඩංගුවට ගැනීමෙන් පසු වෛද්‍ය වාර්තාවක සඳහන් දෙයක්, අත්අඩංගුවට පෙර පොලිසිය දැන ගත්තේ මොන ඥාණයකින්ද? පාසල් සිසුවා හෙරොයින් පානය කළා හෝ ගංජා ගැසුවා හෝ කියා මීට පෙර පොලිසියට හසුවී නැත.   
එක්දරු පියා සහ පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය ඉදිරිපත් කළ සියලු හේතු සාධාරණ නොවන බවත්, ඒවා සියල්ල බොරු බවත් පැහැදිලිය. එසේ නම් පොලිසිය පාසල් සිසුවා සහ එක්දරු පියා අත්අඩංගුවට ගැනීම නීති විරෝධීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් පොලිසිය කඩ කර තබේ.

සේයා ඝාතන විමර්ශන කරද්දී පොලිසිය තවත් නීති කැඩූ හැටි පසුව බලාපොරොත්තු වන්න.

Post a Comment

 
Top